රනිල්ව අගමැති ලෙස පිළිගන්න අපි සූදානම් නෑ – කාදිනල් රංජිත් හිමිපාණන්

රනිල්ව අගමැති ලෙස පිළිගන්න අපි සූදානම් නෑ – කාදිනල් රංජිත් හිමිපාණන්

පත්වන නව අගමැතිවරයා පිළිගැනීමට සූදානම් නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ මෙය නාට්‍යයක් පමණක් වන බවයි.

තාවකාලික අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුලු යෝජනා ඇතුලත් මහනායක හිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් ද කාදිනල් හිමිපාණන් මෙහිදී අවධානය යොමු කළා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ එම යෝජනාවලිය තුල දක්වා ඇත්තේ අගමැතිවරයා ලෙසට පත් කිරීමට යෝජනා කර ඇත්තේ නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලයෙකු වන බවයි.

මහනායක ස්වාමින් වහන්සේලාගේත් වෙනත් ආගමික නායකයන්ගේත් මහජනතාවගේත් අභිලාෂයන් සලකා බලා ඉදිරිපත් කරනු ලැබූ එම යෝජනාවන්ට සිදුවූයේ කුමක් ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසන බව ද කාදිනල් හිමිපාණන් සඳහන් කළා.

ජනතා නියෝජිතයන්ට අවශ්‍ය ආකාරයෙන් ඔලු මාරු කරමින් ජනතාවගේ හෙට දවසත් රටේ අනාගතයත් ජනතා අභිලාෂයත් සමඟ සිදු කරන දේශපාලන සූදුව හෙළා දකින බවයි උන්වහන්සේ කියාසිටියේ.

එමෙන්ම මෙම ක්‍රීඩාව වහාම නතර කරන ලෙසට ඉල්ලා සිටින අතර රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස මෙය නොවන බව ද අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කරනවා.

මෙය ඉතා බරපතල ආකාරයෙන් ජනතා මතයට විරුද්ධ වීමක් බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ස්වාධීන නොවන පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයත් ඊට සහය දක්වන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් ජනතාව ප්‍රතික්ෂේප කරන බව කාදිනල් හිමිපානන් සඳහන් කරනවා.

රටේ පවතින අවාසනාවන්ත තත්ත්වය වෙනස් කර යහපත් මාර්ගයකට ගැනීමට නම් රට විනාශ වීමට හේතු සොයා බලා ඊට නිසියාකාර පිළියම් යෙදීම කළ යුතු බවයි උන්වහන්සේ කියාසිටියේ.

එබැවින් පත් කිරීමට යන නව අගමැතිවරයා හෝ නව රජය පිළිනොගන්නා බව කාදිනල් හිමිපාණන් අවධාරණය කළා.

COMMENTS