ලීසිං සීසර්ලා යළිත් වැඩ පටන්ගෙන

ලීසිං සීසර්ලා යළිත් වැඩ පටන්ගෙන

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම නැවතත් ආරම්භ කර ඇතැයි පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා චෝදනා කරයි.

කොවිඩ් වසංගත සමයේ මේ සඳහා යම් විසඳුමක් ලබා දී තිබුණ ද මේ වන විට නැවත වරක් ලීසිං සමාගම් සුපුරුදු පරිදි ජනතාව පීඩනයට පත් කරමින් සිටින බව මල්සිරි මහතා අවධාරණය කළේය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට හා වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ඉල්ලා සිටි ජනතාවට ලීසිං සමාගම්වලින් ලැබෙන පීඩනයත් එකතු වී ඇතැයි ඔහු පැවැසුවේය.

මෙවන් අර්බුදවලට හසු වී සිටින තම සංගමයේ සාමාජිකයන් බොහොමයකට සේවයෙන් ඉවත් වන්නට සිදුව ඇති බවත් ඔවුන්ගේ පවුල් හා මේ සේවය ලබාගන්නා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව හෙතෙම කීය.

ඉන්ධන ගැටලුවටත් වඩා දරුණුව පවතින ලීසිං සමාගම් අර්බුදයට රජය කඩිනමින් විසඳුම් දිය යුතු බව ත් එසේ කටයුතු නොකිරීමෙන් රටේ ජනතාව තවදුරට ත් අපහසුතාවට පත්වෙන බව ත් මල්සිරි මහතා වැඩිදුරට ත් පැවැසීය.