දේශබන්දු මාරු නොකළාට නීතිපතිගෙන් පොලිස්පතිට දෝස් මුරයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට නිර්දේශ කළ ස්ථාන මාරුව මෙතෙක් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් සිය දැඩි අප්‍රසාදය පළ කරමින් නැවත වතාවක් පොලිස්පති වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
මැයි 9 වැනිදා කොලඹ ගාලුමුවදොර පැවති අරගලය හා සාමකාමී විරෝධතා ව්‍යාපාරයට මහින්ද හිතවාදීන් විසින් එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශන අතර වාරයේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසට නීතිපති වරයා විසින් මීට පෙර ලිඛිත දැනුම් දීමක් කර තිබුණා.
එම නියෝගය පැහැර හැරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමිනුයි නීතිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත යළිත් වතාවක් දීර්ඝ ලිපියක් යොමු කොට ඇත්තේ.
එම ලිපිය මගින් නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ මැයි 9 වැනිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හට මාරුවක් ලබා නොදීම හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවට සබුද්ධික ඕනෑම අයකුට වැටහෙන බවයි.
එමෙන්ම නීතිපතිවරයා විසින් නිර්දේශ කරන ලද මෙම ස්ථාන මාරුව ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර මහේස්ත්‍රාත්වරයා පවා සිය අප්‍රසාදය පළ කොට ඇති බවද සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

