මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්.ඩී. ලක්ෂ්මන් යන අයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම එළඹෙන 14 වැනි දා කැඳවන ලෙස මෝසමක් මාර්ගයෙන් පෙත්සම් කරුවන් විසින් අද ඉල්ලා සිටියා.
ඒ නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මාර්ගයෙන්.
අදාළ මෝසම ගොනු කරමින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි හදිසි අවශ්‍යතාවක් පවතින බැවින්, මෙම පෙත්සම එළඹෙන ජූලි මස 14 වැනිදාට කැඳවීමට කටයුතු කරන ලෙසයි.
නමුත් ඉකුත් 6 වැනි දා අධිකරණය විසින් මෙම පෙත්සම කැඳවා තිබූ අවස්ථාවේ දී තීරණය කර තිබුණේ එළඹෙන ජූලි 27 වැනි දා දිනට මෙම පෙත්සම කැඳවීමටයි.
පෙත්සම යළි කැඳවීමට මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මෙම පිරිස මේ මොහොතේ රටින් පලා ගියහොත් එය යළි පියවා ගත නොහැකි පාඩුවක් වන බවයි.
අදාළ පිරිස නම් කරමින්, මූල්‍ය අක්‍රමිකතා සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පසුගිය දා මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ක්‍රීඩක සහ පුහුණුකරු ජූලියන් බෝලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින්.
ඒ අනුව මෙම මෝසම සලකා බැලූ අධිකරණය එළඹෙන 14 වැනි දා මෙම පෙත්සම කැඳවීමට තීරණය කර තිබෙනවා.

