ඊයේ පැවති විරෝධතාවලදී 84 දෙනෙකුට තුවාල

ඊයේ පැවති විරෝධතාවලදී 84 දෙනෙකුට තුවාල

බත්තරමුල්ල කථානායක නිල නිවස අසල හා පොල්දූව මන්සන්ධියේ ඇතුළු ඊයේ පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් ඇතුලු 84 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එම පිරිස අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමි පුද්ගලයින් 79 දෙනෙකු ද වන බවයි වාර්තා වෙන්නේ.

ඒ අතර යුද හමුදා සාමාජිකයක්, පොලිස් නිලධාරින් දෙදෙනක් සහ මාධ්‍යවේදිහු දෙදෙනකු ද වෙති.

ඊයේ රාත්‍රී වන තෙක් පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය අවස්ථා කිහිපයකදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

මේ අතර ඊයේ දහවල් අරගලකරුවන් පිරිසක් කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය සිය ග්‍රහණයට ගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහා ඉල්ලා අස්විය යුතු බව පවසමිනි.

එහිදී ද පුද්ගලයින් 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මේ අතර ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය යන පරිශ්‍ර තවදුරටත් පවතින්නේ අරගලකරුවන්ගේ ග්‍රහණයේයි.

පසුගිය 9 වැනි ඔවුන් මෙම පරිශ්‍ර සිය ග්‍රහණයට ගනු ලැබුවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමිනි.