පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියකට කුණු බිත්තර ප්‍රහාරයක්

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියකට කුණු බිත්තර ප්‍රහාරයක්

නාගරික කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර මහනගර සභා මන්ත්‍රි වරියකට අද නගර සභා සේවකයන් විරෝධය පළ කර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඊයේ නගර සභාවේ පැවැති මුදල් කාරක සභාවේදී නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම මන්ත්‍රීවරිය ඔහුට පහරදී තිබුණා.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ නගර සභා සේවකයන් සභාවේ දොරටුව අභියස ඇයට එරෙහිව චෝදනා නගමින් විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිට ඇති අතර පසුව ඔවුන් මන්ත්‍රිවරිය රැදී සිටි කාමරයට ගොස් ඇය අසුන්ගෙන සිටි පුටුව සමගින් ඔසවාගෙන පහත මාලයට රැගෙනවිත් තිබුණා.

අනතුරුව නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති අදාළ සේවකයන් පිරිස මන්ත්‍රිවරිය කැළිකසල ප්‍රවාහනය කරන ට්‍රොලියක පටවාගෙන නගර සභාවෙන් පිටතට රැගෙන යෑමට තැත් කිරීමේදී එහි සේවකයන් පිරිසක් එය වළක්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, පොලීසිය පැමිණ ඇයගේ ආරක්ෂාව තහවුරු කර පොලිස් කැබ් රථයකින් මන්ත්‍රීවරිය නගර සභාවෙන් පිටතට රැගෙන ගොස් තිබුණා.

මේ වනවිට පොදුජන පෙරමුණේ මෙම නාගරික මන්ත්‍රීවරිය අනුරාධපුර මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා.