බරණ මියගිය හේතුව හෙළිවෙයි

බරණ මියගිය හේතුව හෙළිවෙයි

බරණ නමැති හස්තියා මියගොස් ඇත්තේ අනවසර විදුලි රැහැණක ගැටීමෙන් බවට අනාවරණය වී තිබෙනවා.

ඒ ඊයේ (27) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

හස්තියාගේ අවසන් කටයුතු ජාතික නාමල් උයන රක්ෂිතයේ දී ඊයේ සිදු කෙරුණු අතර එහිදී ආගමික වතාවත් ද පවත්වා තිබුණා.

කලා වැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි පන්තියේ විශාලතම ඇතකු ලෙස සැලකෙන බරණ හස්තියාගේ සිරුර පසුගියදා නාමල් උයන රක්ෂිතයේ පිවිසුම් දොරටුව ආසන්නයේ තිබිය දී සොයාගනු ලැබුවා.

වයඹ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හස්තියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

බරණ හස්තියා මියගොස් සිටි ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ඇද තිබූ අනවසර විදුලි රැහැන් කොටස් රැසක් ද යාබද වගා ළිඳක තිබිය දී වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

හස්තියාගේ හිස සහ දළ යුගල වනජීවි දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට ද නියමිතයි.