අගෝස්තු 01 සිට පාසල් ළමුන් සඳහා නව බස් රථ සේවාවක්

ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන දුෂ්කරතා වලට මුහුණදෙන පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් නව පාසල් බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනානමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසනවා.
අධ්යක්ෂවරයා මේ බව සඳහන් කළේ පාසල් ළමයින් සඳහා නව බස් රථ සේවාවක් මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.
නව සේවාව සඳහා බස් රථ 40 ක් පමණ 2022 අගෝස්තු මස 01 වැනිදා සිට යෙදවීමට සැළසුම් කර තිබෙනවා.
පාසල් දරුවන්ගෙන් අයකරනුයේ සාමාන්‍ය බස් ගාස්තුව පමණයි.
කොළඹ පිහිටි ප්‍රධාන පාසල් සහ ගම්පහ, කලුතර, හොරණ, මහරගම ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.
බස් රථ උදෑසන 7.30 පෙර පාසල වෙත ළඟා වන අතර ප.ව 1.30 සිට පාසල් අසලින් පිටත් වීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම සේවයට අනුබද්ධ බස් රථ සඳහා ඉන්ධන සැපයීමේ ක්‍රමවත් වැඩ පිළිවලක් ක්‍රියාත්මක කෙරෙන අතර මුල් අදියර බස්නාහිර පළාතට සීමා කර තිබෙනවා.
වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර හා ඉල්ලීම් අනුව බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සහ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මීට අමතරව සිසු සැරිය සේවාව ද ක්‍රියාත්මකයි.

