බංකොලොත් දේශපාලන කණ්ඩායම් අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස පෙන්වන්න හදනවා

බංකොලොත් දේශපාලන කණ්ඩායම් අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස පෙන්වන්න හදනවා

අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් කරමින්, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා බංකොලොත් දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරන බව සර්ව පාක්ෂික අරගලකරුවෝ චෝදනා කරනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සර්ව පාක්ෂික අරගලකරුවන් කියා සිටින්නේ

“අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරයද හාස්‍යජනකය.”යනුවෙන්.

තව ද නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙස ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් අදාළ නිවේදනය තුළින් සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් බල කර සිටින අතර, ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන් ද ඔවුන් විසින් හෙළා දකිනවා.

කෙසේ නමුත් අදාළ නිවේදනය මගින් සර්ව පාක්ෂිකයන් චෝදනා කර සිටින්නේ, මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට උත්සහ දරණ බවයි.

එසේ ම මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවෝ කටයුතු කරන බව ද එම නිවේදනය ඔස්සේ කියා සිටිනවා.

පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික, දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව දක්වන සර්වපාක්ෂික අරගලකරුවෝ කියා සිටින්නේ, පොදු අරගලයක් හරහා සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමය ම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින් ක්‍රමයෙන් කටයුතු කරන බව ද සර්ව පාක්ෂික අරගල කරුවෝ කියා සිටිනවා.

එසේ ම, පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තුරු පාලකයන් දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.