ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අපට අහිමි කළ බලධාරී කෙරුවාව

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට නියමිත වේලාවට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා, නියමිත පරිදි කොලොම්බියාවේ කැලි හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතාවලියට යාමට නොහැකි වී තිබෙනවා.
අගෝස්තු මස 01 වැනි දා කොළොම්බියාවේ කාලි නුවර දී ආරම්භ වන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා බලධාරීන් විසින් නිසි කලට ගුවන් ප්‍රවේශපත්‍ර සපයා දීමට අපොහොසත් වූ හෙයින් ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජූලි මස 30 වැනි දා වන අද මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට සමත් වී නොමැත.
ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම සහ ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට යුක්තිය ඉල්ලා එක රැයකින් ටොරින්ටන්හි විරෝධතාවයේ නිරත වූ බවත් ඔවුන් විසඳුම් සොයමින් ඉහළ මලල ක්‍රීඩා නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම් අපේක්ෂා කරන බවත් ක්‍රීඩා මාධ්‍යවේදී අංජන කළුආරච්චි Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ මාස එකහමාරක් ගතවනතුරුත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නිලධාරින් සිය වගකීම ඉටුකිරීමට අපොහොසත් වීමයි.
ඒ අනුව වසර ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙලු මහන්සියේ ප්‍රතිපල වතුරේ ගසාගෙන යාම එහි අවසන් ප්‍රතිඵලය වුණා.
දහසකුත් එකක් බාධක කම්කටොලු මැද සිය පුහුණුවීම් සිදු කරන අපේ බහුතරයක් යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකම සිහිනය සිය දස්කම් ජාත්‍යන්තරයේ විදහා දක්වන්නට ලැබෙන මෙවන් තරගාවලි බව නොවැටහීම මෙරට මළල ක්‍රීඩා බලධාරීන් දැන් කලක පටන් පුරුද්දකට මෙන් අමතක කර තිබීම පුදුමයට කරුණක්.
ඔවුන්ගේ මේ නොසැලකිල්ල නිසා මේ අහිමිව යන්නේ හෙට දවසේ අපේ රටේ ලෝක ශුරතා පදක්කමක් හෝ ඔලිම්පික් පදක්කමක් නොවේ යැයි කාටනම් කිවහැකිද..?
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමට කටයුතු කිරීම මෙරට ක්‍රීඩාව කරවූ සහ කරවන අමාත්‍යවරුන් සිදුකල සිදුකරන පහසුම ක්‍රියා මාර්ගය බව රටම දන්නා රහසක්.
මෙවැනි නිලධාරීන්ගෙන් තවදුරටත් සාධාරණයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තු විය හැකිද?
පහත ඡායාරූපවල දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දෙමාපියන් සහ පුහුණුකරුවන් කොළඹ ටොරින්ටන් ක්‍රීඩාගාරයේ රැය පහන් කරමින් තම කණ්ඩායම වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවයක යෙදී සිටි අයුරුයි




