ආර්ථික අපහසුතා, මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියට තල්ලු කරලා – ANI

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවට මුහුණ පා සිටින කාන්තාවන්ගෙන් බහුතරයක් රෙදිපිළි අංශයේ රැකියා අහිමි වීම හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට තල්ලු කර ඇතැයි ANI පුවත් සේවය පවසයි.
එම පුවත් සේවය පෙන්වා දෙන්නේ, රටේ පෙර නොවූ විරූ අර්බුදය හමුවේ මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතා සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බව ය. එමෙන් ම, රටේ වත්මන් තත්ත්වය විසින් ගෙන ලද එන දුෂ්කරතා බොහෝ පවුල් අන්තයට තල්ලු කර ඇති බව ANI වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගල සමඟ තම නිවෙස් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ANI පුවත් සේවය සඳහන් කර ඇත.
ANI වාර්තාවේ දැක්වෙන්නේ, මෙම භයානක තත්ත්වය හේතුවෙන් රට පුරා තාවකාලික ගණිකා මඩම් බිහි වී ඇති බව ය.
ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායමක් වන Stand-up Movement Lanka පවසන පරිදි, ජීවනෝපාය සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ලිංගික ශ්‍රමිකයන් වීමට බල කෙරෙන බැවින් පසුගිය මාස කිහිපය තුළ ගණිකා වෘත්තියේ සියයට 30 කින් වැඩි වීමක් දක්නට ලැබී තිබේ.
මෙම ආයතනවලින් සමහරක් ස්පා සහ සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බව ANI පුවත් සේවය වාර්තා කර ඇති අතර තම පවුලට දිනකට ආහාර වේලක් ලබා දීමට ඇති එක ම මාර්ගය මෙය බව බොහෝ අය පවසන්නේ යැයි ද එම පුවත් සේවය වාර්තා කර ඇත.
මීට පෙර ANI සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකි ප්‍රකාශ කර ඇත්තේ, මෙරට මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ය.
නිදහසින් පසු රටේ ආර්ථිකය මේ වන විට දරුණුතම ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව ත් ඉදිරි මාස කිහිපය තුළ අදහාගත නොහැකි උද්ධමනය දුරට ත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ත් ඔහු ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජූනි මාසය වන විට ආහාර උද්ධමනයේ අනුපාතය සියයට 80 ඉක්මවන අතර ඉදිරි මාසවලදී මෙම ප්‍රවණතාව ඉහළ යනු ඇත,” සිද්දිකි සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව ඉන්ධන, ආහාර සහ විදේශ විනිමය සම්බන්ධයෙන් උග්‍ර හිඟයකට මුහුණ දී සිටින අතර වඩා ත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මෙම දූපතේ ජනතාව බලාපොරොත්තු වන්නේ, ජාත්‍යන්තර අරමුදල මගින් හෝ සහයක් ලැබෙනු ඇති බව යැයි ANI පුවතත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.


