නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක්

නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක්

නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පැවති හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමණාකාර අධ්‍යක්ෂ එස්. පී. සි සුගිෂ්වර මහතා සඳහන් කළේ, එම ගංඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

රත්නපුර නගරයේ පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා.

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 07 ට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය.

මේ අතර අදත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලමේ සිට පොතුවිල් දක්වා නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවලින් වළකින ලෙස කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර පසුගිය පැය 24 තුළ දියේ ගිලිමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් සිව්දෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් වසය අවුරුදු 5 ක දැරියක සහ 62 හැවිරිදී මිත්තණියක මිය ගිය බවයි.

නාවලපිටිය අක්කරවත්ත කැටඹුලාව ඔයෙන් එතෙරවීමට ගිය අවස්ථාවේදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු දියේ ගිලි‍ මේ වනවිට අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

හැටන්, මොන්ටෆෙයාර් ප්‍රදේශයේදී ලිස්සා ගොස් පැන්මූර් වැවට වැටීමේන් තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.