අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

QR ක්‍රමවේදය යටතේ ලබා දෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙන අද ( 4) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ප්‍රධාන බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“QR කේතය මගින් ඩීසල් ලබා දීමේදී සතියකට ඩීසල් ලීටර් 40ක් තමයි පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දීමට රජය තීරණය අරගෙන තියෙන්නේ. ඩීසල් ලීටර 40 කියන්නේ, දුර සේවා නම් පැයක්වත් ධාවනය කරන්න බැහැ. කෙටිදුර ධාවනය වන බස් රථයක් වරුවක් ධාවනය කළ හැකි. මේ වන විට දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය සමස්ත දකුණු පළාත තුළ ම බස් ධාවනයෙන් ඉවත් වෙලා. ඒක නිසා අපි කියනවා අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න අපේ ප්‍රධාන බස් සංගම් කිහිපයක් තීන්දු කරා.” යනුවෙන්

මේ අතර අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බවත්ය.