අරගලකරුවන්ට පොදු සමාවක්, ඕමල්පේ හිමි ජනපතිගෙන් ඉල්ලීමට යයි

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී යැයි මහජන සභාවේ සම සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
මහජන සභාවේ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන බවත් වහාම ජනාධිපතිවරයා හමු වී ඒ සඳහා වේලාව වෙන්කර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේ යැයි ද සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා හමුවීමට ජාතික සභාවේ නියෝජිතයන් සමග නීතිඥ සංගමයේ නියෝජිතයන් ද කැටුව යාමට බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ කීහ.
දිගින් දිගට ම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි වන බව ඊයේ (4) පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන් බව ද සෝභිත හිමියෝ පැවසූහ.
රට වෙනුවෙන් කතා කළ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් බව ත්, එම කතා බහ ජනාධිපතිවරයා සමඟ කරන්නට අවස්ථාව ලබා දෙන බව ඇමතිවරයා පොරොන්දු වූ බව ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

