“අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ” විරෝධතාවක් නුගේගොඩදී

පක්ෂ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධානය කළ විරෝධතා පා ගමන් කිහිපයක් අද (06) නුගේගොඩ අවට ප්‍රදේශවලින් ආරම්භ වී තිබේ.
“අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ..” යන තේමාවෙන්, මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව එක් විරෝධතා පා ගමනක් ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.
කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.
මේ අතර සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව ගාලු මුවදොර මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් බිහිවූ ගෝඨාගෝ ගම විරෝධතා කණ්ඩායමේ ආරම්භයේ සිටම ක්‍රියාකාරී කණ්ඩායමක් ලෙස සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව කටයුතු කළා. මේ අනුව ගාලුමුවදොර අරගලභූමියේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ සමාජමාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව සඳහන් කරන්නේ ජනතා ඉල්ලීම් දිනාගන්නා තෙක් අරගලය පවත්වාගෙන යා යුතු බවට තම එකමුතුව විශ්වාස කරන බවයි.

ගාලු මුවදොර අරගලයට අදට දින 120ක් සපිරෙනවා. අරගල භූමියේ සිටි පිරිසක් ඊයේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර ඔවුන්ගේ කූඩාරම් කිහිපයක් ද ඉවත් කර ගත්තා.
දින 110ක් පුරාවට බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිට පවත්වාගෙන ගිය ගෝඨාගෝ ගම ඊයේ පස්වරුවේ ඉවත්කර ගැනුනා. එසේ ඉවත් කර ගැනීමට පෙර විරෝධතාකරුවන් උද්ඝෝෂණයක් හා ජන හමුවක්ද පැවැත්වුවා.

