බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද රට පුරා විරෝධතා

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද (09) දිනයේ කොළඹ හා ප්‍රදේශ ගණනාවක විරෝධතා පවත්වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ.
ඊට සමගාමීව කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාව තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය.
කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේ ය.
මෙම විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපොළවලට හානි කිරීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මහේස්ත්රාතවරයා අවධාරණය කර සිටියේය. මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය පිළිබඳ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකුමුතුව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා සැලසුම් පැහැදිලි කළේ ය.
“ජාතික විරෝධතාව” යන තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර දඹුල්ල හුංගම, කටුබැද්ද කන්තලේ බලංගොඩ කෑගල්ල පිළියන්දල මහියංගනය කැකිරාව කලවාන පේරාදෙණිය, මාරවිල තිරප්ප්නේ ,මැදවච්චිය සෙවණගල, වැල්ලවාය ,මාතලේ, හොරණ මහරගම ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැත්වේ.
උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව පෙළපාළි හා රැස්වීම්ද සංවිධාන කෙරෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.
රටේ ආර්ථික ප්‍රශ්න විසඳන ලෙස බල කිරීමද මෙම උද්ඝෝෂණවල තවත් ප්‍රධාන අරමුණකි.
මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එක්වන ලෙස දැනුම් දෙමින් සමිති සංවිධාන ගණනාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතිය පුරා පුළුල් ප්රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනුද දැකගත හැකිවිය.


