පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පාප්තුමාගෙන් මුදල් පරිත්‍යාගයක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පාප්තුමාගෙන් මුදල් පරිත්‍යාගයක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේ යුරෝ ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හාර සියයක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බව ජූඩ් ක්‍රිසාන්ත පියතුමා සඳහන් කළා

එම මුදලින් කොටසක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කාණ්ඩ තුනක් ලෙස වෙන් කොට හෙට (13) දිනයේදී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීත් අනිද්දා (14) දිනයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීත් අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන බව උන්වහන්සේ පැවසූහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිවී හිමිපාණන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බව ද පියතුමා වැඩි දුරටත් සඳහන් කළා.