යාපනය සරසවියේ අමානුෂික නවක වධයක්, සිසුවෙක් සියදිවි හානි කර ගැනීමටත් යයි

යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. එම දඬුවමට ලක් වූ එක් ශිෂ්‍යයෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම නිසා ඔහුව යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ කාමරයට ගොස් තමන් දිවි තොර කර ගන්නා බව ප්‍රකාශ කොට ලණුවක ආධාරයෙන් බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එය දුටු වෙනත් සිසුන් පිරිසක් ලණුව කපා ඔහුව බේරාගෙන රෝහල් කිරීමට පියවර ගත්තා.
එම සිසුන් 18 දෙනා සඳහා වසරක කාලයක් පන්ති තහනම් කොට ඇති අතර ඔවුන්ට එම කාලය තුළ යාපනය විශ්ව විද්‍යාලය තහනම් ප්‍රදේශයක් බවටද දැණුම් දී තිබෙනවා.
නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය හා විනය කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන ලද පරීක්ෂණ වලින් පසුව සිසුන් 18 දෙනෙකු එම ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් නවක වධය ලබාදුන් අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් සැකකාර සිසුන් හඳුනා ගෙන තිබෙනවා.

