වියදම් වැඩි වුනොත් ප්‍රධානියාට ගෙවන්න වෙයි

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම් පෞද්ගලිකව දැරිය යුතු බව ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ විධිවිධාන සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් ඉටුකළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවය.
ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
– උපුටා ගැනීම –
“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දීම සිදුකර තිබේ.
ඒ අනුව, ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදුකරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
-උපුටා ගැනීම අවසන් –

