ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් පිට පදක්කම්

04 වැනි ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.
ඉන්දීය පැරා මලල ක්‍රීඩා සංගමයේ විශේෂ ආරාධනාවක් යටතේ මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනූ රන් පදක්කමට හිමිකම් කීවේ යොවුන් ක්‍රීඩිකා ජනනි ධනංජනා යි.
T47 කාණ්ඩයේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ජනනි එහි දී මීටර් 5.1ක දස්කමක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා.
මෙම තරගාවලියට සහභාගී වූ පැරාලිම්පික් පදක්කම් ලාභී සමිත දුලාන් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එහි දී දැක්වූ දස්කම සටහන් වුනේ මීටර් 65.28ක් ලෙසින්.
එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වූ සමන් මධුරංග T47 කාණ්ඩයේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 50.55ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.
තරගාවලියේ T44 කාණ්ඩයේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ නුවන් බුද්ධික එම ඉසව්ව තත්පර 11.77ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කමක් දිනා ගත්තා.
ඔහුට අමතරව පිරිමි මීටර් 100 Dash ඉසව්වට සහභාගී පැරා ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් තරගය තත්පර 12.95ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දුන්නා.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකාවට යගුලිය දැමීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා දීමට පැරා ක්‍රීඩිකා තිසරා ජයසිංහට හැකි වුනේ F57 කාණ්ඩයේ යගුලිය දැමීමේ ඉසව්වෙන් මීටර් 5.90ක දස්කමක් පෙන්නුම් කරමිනුයි.
තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ බුද්ධික ඉන්ද්‍රපාල විසින්.
පිරිමි T42 මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු තත්පර 13.43ක කාලයකින් ඉසව්ව අවසන් කර එම ජයග්‍රහණය ලැබුවා.
මෙම මස 18 සහ 19 වැනිදා ඉන්දියාවේ පැවති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වුනා.

