අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍රවලට භූමිතෙල් ගන්න ඍජු මුදල් සහනාධාරයක්

අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍රවලට භූමිතෙල් ගන්න ඍජු මුදල් සහනාධාරයක්

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ දෙයක් බව ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීම සඳහා එක් ප්‍රධාන හේතුවක් භූමිතෙල් සහන මිලට විකිණීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඊයේ (අගෝ. 21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87ක සිට රුපියල් 340ක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය.

ඒ අනුව, භූමිතෙල් ලීටරයක මිල පැවති මිල රුපියල් 253ක මුදලකින් ඉහළ ගියේ ය.

එය මෙරට ඉතිහාසයේ භූමිතෙල් මිල ඉහළ දැමුණු වැඩි ම මිල වශයෙන් ද සටහන් විය.