සනත් නිශාන්තගේ ගිනි තැබූ ගෙදරට කෝටි දෙකක රක්ෂණ වන්දියක්

සනත් නිශාන්තගේ ගිනි තැබූ ගෙදරට කෝටි දෙකක රක්ෂණ වන්දියක්

මැයි මස 9 වන දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර ගිනිබත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට රුපියල් දෙකෝටි දෙලක්ෂ හය දහස් දෙසිය පනහක (20,206,250) රක්ෂණ වන්දියක් ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් දිනපතා පලවෙන පුවත්පතක් මන්ත්‍රී සනත් නිශාන්තගෙන් විමසීමක් කර තිබෙනවා.එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, තමන්ගේ නිවසේ වටිනාකම දළ වශයෙන් ලක්ෂ 1250ක් බවත් ඉස්සන් සඳහා ලබා දෙන ආහාර ලබා ගැනීම සඳහා තමන් එමගින් බැංකු ණයක් ලබා ගෙන තිබූ බවත්ය.

ඒ අනුව, ඊට අදාළව ලැබුණු රක්ෂණය මත නිවසට සහ නිවස පිහිටි ඉඩමට ඇති වටිනාකම අනුව රුපියල් මිලියන 22ක රක්ෂණයක් හිමි වී ඇතැයි ඔහු පවසා තිබෙනවා.

පුවත්පත ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා,

“මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මගේ ව්‍යාපාරවලට ලෝන් එකක් ගත්තාම මට ඉන්ෂුරන්ස් එකක් හම්බවෙනවා. එක හම්බවෙන්නේ මම අරන් තියෙන ණයේ හැටියට මට ඒ රක්ෂණ ගෙවීම හම්බ වෙන්නේ.

මගේ ගෙදර වටිනාකම දළ වශයෙන් ලක්ෂ 1250ක්. මම මේකේ ලෝන් එක අරගෙන තිබුණේ මහජන බැංකුව හරහා ඉස්සෝ කෑම වගයක් ගෙන්න ගන්න.

මහජන බැංකුව අපි ගන්න ලෝන් එකේ වටිනාකමට ඉන්ෂුරන්ස් එකක් කරනවා නේ. ඒකට වෙන ම ඉඩමට වෙන ම වටිනාකමක් දීලා ගෙදරට වෙන ම වටිනාකමක් දාලා එයාලා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක රක්ෂණයක් දාලා තියෙනවා. ඒක මිලියන 22ක්, ඒකට දෙකෝටි දෙලක්ෂයක් හම්බවෙලා තියෙනවා. ඒ හම්බවෙච්ච එකෙන් අපි ගත්ත ලෝන් ඒක කැපිලා තියෙනවා.

ලක්ෂ 1,250ක වටිනාකමක් තියෙන මගේ නිවසට ලක්ෂ 200ක් හම්බවෙලා වැඩක් නෑ නේ.

අනේ ජනතාවගේ මුදල්වලින් හම්බවේච්ච එව්වා ගැන නම් මගේ කට අවුස්ස ගන්න තමයි කට්ටිය යන්නේ.

77 තාත්තාගේ ගෙවල් ගිනි තියපු ඒවාවත් වන්දි හම්බවුණේ නෑ රුපියලක්වත්. 2002 මගේ ගේ ගිනි තියපු එකෙත් රුපියලක්වත් හම්බවුණේ නෑ. මේකෙත් රුපියල්වත් වන්දි හම්බුනේ නෑ.

ඔය කියන ජේ.වී.පී. එකෙයි පෙරටුගාමි එකෙයි ඉන්න පස්ස පැත්තේ අමාරුව තියෙන අය අපේ ගෙවල් ගිනි තිබ්බේ නැත්තම් ඔය වන්දිය ගෙවන්න වෙන්නෙත් නෑ.

මගේ ගෙවල් මේ සුළි සුළඟට ගං වතුරට ගියේවත් නෑ නේ. මේක මේ කැරලි කාරයො ඇවිල්ලා, අරගලකාරයෝ ඇවිල්ලා ගිනි තියපු ගෙයක් නේ. ඉතින් ඒ කට්ටිය විනාශ කරලා තියෙන්නේ ජනතාවගේ සල්ලි.

මට එදා ගේ හදන්න මිලියන 100ක් ගියා නම් අද වෙනතොට මට ඒකට මිලියන 200ක් යනවා. අද තියෙන බඩු මුට්ටුවල ගණන් එක්ක. අනිත් එක අපි මේ දේශපාලනය කරලා හදපු ගෙවල් දොරවල් නෙමෙයි මේ.

මම ඉස්සෝ ව්‍යාපාරිකයෙක්. මම මේ අක්කර 1500ක් 200ක් ඉස්සෝ කරනවා. පොල් අක්කර 60- 70ක් තියෙනවා. අපි හිඟන්නෝ නෙමෙයි. අපි ව්‍යාපාරිකයෝ.

මම දේශපාලනය කළා කියලා මගේ ගේ ගිනි තිබ්බා ම ඒකට මම ගේ රක්ෂණය කරලා තිබ්බා ම මට රක්ෂණ වන්දියක් ගන්න බැරි ද?

මම රක්ෂණය කරලා තියෙන්නේ රක්ෂණයට ගෙවලා නේ.” යනුවෙන් එම පුවත්පතට අදහස් දක්වා තිබුණා.

ඊට අදාළ චෙක්පත මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර එය පහතින් දැක්වේ,