සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ජනපති කියයි

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ ජයවර්ධනපුර රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තා රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම පෙරේදා (03) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාව අතරතුර මෙම වාර්තාව භාර දීම සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්රයට සහ වෛද්‍යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේදී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ.
එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.
පසුගිය අවුරුදු කිහිපයේදී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කළ විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද අදාළ කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.



