පාන් ගෙඩියක් රුපියල් 350ක් වෙන ලකුණු

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 450ක සීමාවට පැමිණිය හොත් පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදු වන බව ආපණ ශාලා හිමියන් පවසනවා.
තිරිඟු පිටි හිඟය හේතුවෙන් මේ වන විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වන අතර ආපණ ශාලා හිමියන් පෙන්වා දෙන්නේ, පාන් අලෙවි කිරීමේ දී තමන්ට දිගින් දිගට ම පාඩු සිදුවන බව යි.
මේ අතර, වෙළඳ අමාත්‍යාංශය තිරිඟු පිටි පිළිබඳ ගැටලුවට නිසි විසඳුම් සෙවීමට අසමත් වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ආපණ ශාලා හිමියන්ගේ සංගමය කියා සිටියා.
එම සංගමයේ සභාපති ඉන්දික අනුර කුමාර අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩි දුරටත් සඳහන් කළේ, කොමිස් ලබා ගැනීමේ අරමුණින් ක්ෂණික ව පිටි ඇණවුම් කිරීම සිදු කළේ ද යන්න සැකයක් පවතින බව යි.
ලිට්රෝ ගෑස් මිල අඩු වුව ද ලාෆ් ගෑස් මිල අඩු නො වීම සම්බන්ධයෙන් විමසා බැලීමට අපණ ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණියා.
මේ අතර ඉදිරි දින 4 ඇතුළත මාළු මිල සියයට 50කින් පමණ අඩු විය හැකි බව මැනිං වෙළඳපොළ මාළු තොග වෙළඳුන්ගේ සංගමය පවසනවා.
මේ වන විට පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මිල වැඩි වුවත් ඉදිරියේ දී ඒවායේ මිල පහත යනු ඇති බවයි එම සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ.

