ජොන්ස්ටන්ට තවත් නඩුවකට අධිචෝදනා භාර දෙයි

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකෙුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධව අධි චෝදනා පත්‍ර භාරදීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද සිදු විය.
අනතුරුව ඔවුන් ඇප මත මුදාහළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය නොවැම්බර් මස 01 වැනිදා තෙක් කල් තැබීය.
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන විත්තිකරුවන්ට එලෙස අධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදු විය.
වර්ෂ 2014 ජනවාරි මස සිට දෙසැම්බර් මස අතර කාලය තුළ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිර ලෙස සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

