විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ ගාල්ලේ සිසුවා අල්ලයි

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ ගාල්ලේ  සිසුවා අල්ලයි

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කර රහසිගතව එයට ඇතුළු වී මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිල වයෙන් පෙන්වන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලක 13 වසරේ සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය හැක්කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස් කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කර බැලීමට හැකියාව පවතී. විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නම් දන්නා කොටස ඇතුළත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියලු අපේක්ෂකයන්ගේ නම් පෙන්වන අතර, ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.

මේ සිසුවා වෙබ් අඩවි හැක් කරන සහ දත්ත සොරා ගැනීම් කරන ආකාරය ගැන දැනුම බෙදා ගන්නා තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධව සිටින බවත් එහි 5,000ක් පමණ සිසුන් එක්ව දැනුම හුවමාරු කර ගනිමින් සිටින බවත් සිය විමර්ශනවලින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

එම හඳුනා ගැනීම කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර දත්ත සොරාගෙන එම දත්ත යොදා සකස් කළ අලුත් වෙබ් ප්‍රවේශයට පෙරේදා (07) පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් බාධා කරමිනි.

වෙබ් අඩවිය හැක් කිරීමත් සමඟ සිසුවා ටෙලිග්‍රෑම් සමූහයට ඒ බව දැනුම් දෙමින් පණිවුඩයක් තබා ඇති අතර, ප්‍රහාරය එල්ල කළ අය හඳුනා ගනිමින් නැවතත් එම වෙබ් ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව එහි දක්වා තිබේ. 5,000කට ආසන්න පරිශීලකයන් පිරිසක් සිටින එම ටෙලිග්‍රෑම් සමූහයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කළ සිසුවාව පැහැදිලිවම හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත්තේ ඒ ඔස්සේය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර එහි දත්ත යොදා සකස් කළ නව වෙබ් ප්‍රවේශය මේ සිසුවා ප්‍රසිද්ධ කර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටි සිසුන්ගේ වට්ස් ඇප් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාල සමූහයන් අතර හුවමාරු කරමිනි. ඒ ඔස්සේ විභාග ප්‍රතිඵල විශාල පිරිසක් බලා ඇති බවද පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසන්නේ මේ සිසුවා ඇතුළු සිසුන් 5,000කට ආසන්න පිරිසක් සිටින ටෙලිග්‍රෑම් සමූහය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මේ වන විට යොමු කර ඇති බවය.

වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වීම හා අදාළ මෘදුකාංග ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමෙන් ප්‍රශ්න කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.