විදුලි සන්දේශ ගාස්තු ඉහළ දැමීමෙන් ඔන්ලයින් ඉගෙනීමට බාධා

විදුලි සන්දේශ ගාස්තු ඉහළ දැමීමෙන් ඔන්ලයින් ඉගෙනීමට බාධා

විදුලි සන්දේශ ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය ද කඩාවැටීමට ලක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

දුරකථන ගාස්තු එළැඹෙන මාසයේ සිට ඉතා අසාධාරණ ලෙස ඉහළ නැංවීමෙන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන දරුවන් මෙන් ම ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් ද දැඩි දුෂ්කරතාවට පත් වන බව ඔහු කීය.

රජයේ එම තීරණයත් සමඟ දුරකතන බිල්පත් මෙන්ම ඉන්ටර්නෙට් ගාස්තු ද දරාගත නොහැකි ලෙස ඉහළ යන බවට හෙතෙම චෝදනා කළේය.

මීට පෙර පාසල් දරුවන් අතර පැවැතියේ 35%ක පමණ පරිගණක සාක්ෂරතාවක් වුව ත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළ පසු එම ප්‍රතිශතය ඉහළ ගිය බව ද ඔහු සඳහන් කළේය.

එවන් පසුබිමක් තිබියදී මේ අයුරින් දුරකතන හා ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ නැංවීම නිසා දරුවන් මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් බැහැර වීමේ අවදානමක් ද මතු වන බව ජෝසෆ් ස්ටාලින් පැවැසීය.

ජංගම දුරකතන, විද්‍යුත් උපාංගවල මිල ද සාපේක්ෂව ඉහළ ගොස් ඇති නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වන්නේ යැයි ද හෙතෙම කීය.

වත්මන් රජය ඔවුන්ගේ පැවැත්ම මිස වෙනත් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරන නිසා මේ අයුරින් වගකීම් විරහිත අයුරින් කටයුතු කරන්නේ යැයි ඔහු චෝදනා කළේය.

පාසල් බස් රථ, වෑන් රථ ආදී ප්‍රවාහන ගාස්තු, සපත්තු කුට්ටම්, පොත් පත් ආදී ලිපි ද්‍රව්‍ය ගාස්තු ද දෙතුන් ගුණයක මිලකින් ඉහළ ගොස් ඇතැයි ජෝසෆ් ස්ටාලින් වැඩි දුරටත් පැවසීය.