ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලිට තවත් ජයක් – සනත් එංගලන්ත පිතිකරුවන් අසරණ කරයි

සනත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ලෙජන්ඩ්ස් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරඟයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට ඊයේ (13) සමත් විය.
කාන්පූර්හිදී පැවති තරඟාවලියේ 5 වැනි තරඟයේදී ශ්‍රී ලංකා පිල හමුවේ එංගලන්ත ලෙජන්ඩ්ස් පිල පරාජයට පත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩකයන්ට ඕවර 19කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 78ක් පමණි.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයන් පන්දු 33ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
ශ්‍රී ලංකා ඉනිමේදී ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 8ක් රැස් කළ අතර, නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 15කටය. උපුල් තරංග (23) සහ ඩිල්ෂාන් මුණවීර (24) ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ.
එංගලන්ත ඉනිම ඇරඹූ නායක ඉයන් බෙල් ලකුණු 15ක් සහ ෆිල් මස්ටඩ් ලකුණු 14ක් රැස් කළ අතර, ක්‍රිස් ස්කොෆීල්ඩ් සහ ස්ටීවන් පැරී ලකුණු 10 බැගින් රැස් කළහ. ශ්‍රී ලංකා පන්දු ප්‍රහාරය හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට අවස්ථාවක් නොලැබිණි.
ඕවර 4කදී ලකුණු 3කට කඩුලු 4ක් බිඳ දැමීමට සනත් ජයසූරිය සමත් වූයේ නිලකුණු ඕවර 2ක් ද ක්‍රියාත්මක කරමිනි. ඔහුට අනගි සහායක් දුන් නුවන් කුලසේකර සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරඟය 17 වැනිදා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට එරෙහිව ඉන්දෝර්හිදී පැවැත්වේ.
එංගලන්ත ලෙජන්ඩ්ස් – 78 (ඕවර 19) (සනත් ජයසූරිය 3/4, නුවන් කුලසේකර 11/2, චතුරංග ද සිල්වා 17/2)
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – 79/3 (ඕවර 14.3) ඩිල්ෂාන් මුණවීර 24, උපුල් තරංග 23


