නෙළුම් කුළුණ පළමු දිනයේම ආදායම් වාර්තා තබයි

නෙළුම් කුළුණ පළමු දිනයේම ආදායම් වාර්තා තබයි

කොළඹ නෙළුම් කුලුන ඊයේ (15) ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා රුපියල් 500 ප්‍රවේශපත්‍ර 2000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා.

එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා වෙන්නේ.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙලුම් කුලුණේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 113ක්.

අඩි 1150ක් ඉහළ අහසට එසවුණු නෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු ඊයේ සිට නිල වශයෙන් ආරම්භ වුණා.

ඊට සමගාමීව එහි නිල වෙබ් අවඩිය ජනගත කිරීම ද ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. ඒ නෙලුම් කුලුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නෙලුම් කුලුණ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කෙරුණේ ඊයේ පස්වරු 2ටයි. ශ්‍රී ලාංකික ජනතාවට පළමු වරට හිමිවුණු ඒ අපූරු අත්දැකීම විඳගන්නට විශාල පිරිසක් පැමිණ සිටියා.

රුපියල් 500ක හෝ 2000ක වටිනාකමකින් යුත් ටිකට් පතක් මිලදී ගෙන ජනතාවට නෙලුම් කුලුණ නැරඹීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් මේවන විට නෙළුම් කුලුන නැරඹීම සඳහා නිකුත් කෙරෙන්නේ රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් පමණයි.

අදාළ ටිකට්පත් නෙලුම් කුලුණ පිවිසුමෙන් මිලදී ගත හැකි අතර විදේශිකයන් අමෙරිකානු ඩොලර් 20ක ටිකට් පතක් මිලදී ගත යුතුයි.

පාසල් ළමුන්ටද කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන කණ්ඩායම් වශයෙන් නෙලුම් කුලුණ නැරඹීමේ අවස්ථාව හිමිවන අතර වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ටිකට්පත රුපියල් 200ක්.

සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත් සති අන්තයේ මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නෙලුම් කුලුණ ජනතාවට විවෘතයි.

කොළඹ නෙලුම් කුලුණ ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 113ක ආයෝජනයක් වන අතර ඉන් ඩොලර් මිලියන 68ක් චීන එක්සිම් බැංකුවෙන් ණය ආධාර ලෙස ලබාගෙන තිබෙනවා.