දකුණු අප්‍රිකා ලීග් තරඟ වෙන්දේසියේදී මෙන්ඩිස්, මධුසංකට ඉහළ මිලක්

දකුණු අප්‍රිකා ලීග් තරඟ වෙන්දේසියේදී මෙන්ඩිස්, මධුසංකට ඉහළ මිලක්

දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙ‌නෙකු මිලදී ගෙන තිබේ.

ඒ, දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්වයි.

එම ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) පැවැත්වුණේ කේප් ටවුන් නගරයේදීයි.

දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ සිදුකළේය.

වෙන්දේසියට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අතරින් පිටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව ඇමෙරිකානු ඩොලර් 24,000ක (රු. ලක්ෂ 85ක) මුදලකට මිලදී ගෙන තිබේ.

දිල්ෂාන් මධුසංකව ඇමෙරිකානු ඩොලර් 15,000කට (රු. ලක්ෂ 56කට) මිලදී ගත්තේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනි.

මේ අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බරග් කිංග්ස් කණ්ඩායම විසින් රඳවාගෙන තිබේ.

එම ක්‍රීඩක වෙන්දේසීයේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකා ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් ය.

ඔහුව සන්රයිසර්ස් ඊස්ටන් කේප් කණ්ඩායම මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මිලකටයි.

දකුණු අප්‍රිකා ලීග් තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතයි.