ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණදෙන පවුල්වලට වැඩපිළිවෙලක්

ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණදෙන පවුල්වලට වැඩපිළිවෙලක්

දරිද්‍රතාවය හේතුවෙන් ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණදෙන පවුල්වලට සහය ලබාදීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා කලටි පොල් මද රැගෙන ඒමේ සිදුවීමක් පිලිබඳව ඊයේ මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුවයි අදාළ පුවත පිළිබදව ජනාධිපති කාර්යාලයේද අවධානය යොමුව ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂවරයා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා හා කෝන්ගොඩමුල්ල ශාන්ත අන්තෝනි කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගෙන් ලබා ගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවයි.

රට තුල පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඕනෑම දරුවෙක් පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා ඒකකයක් ස්ථාපිත කර ඇති අතර 011 43 54 647 හෝ 011 43 54 354 යන අංක අමතා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ආහාර නොමැතිකමින් පෙලෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ට, ග්‍රාම නිලධාරින්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද මැදිහත් වී ඒවා සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.