විදෙස් තානාපතිවරුන් ජනපතිට දුන් සහතිකය

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වී තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී යි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ.
පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළා.

