ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි – කාසියේ වාසියෙන් සභාපති තේරෙයි

ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන් තෝරා පත්කර ගැනීමෙන් පසු උණුසුම් තත්ත්වයක් මතුවිය.
එහිදී පොහොට්ටුව නම් කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය මතුව තිබිණ.
ඡන්ද විමසීම ඊයේ (27) මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභා ශාලාවේදී පැවති අතර එහිදී කාසිය වාසිය හිමිවූ එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ මහතා සභාපති ධූරයට පත්විය.
සභාපති ලෙස කටයුතු කළ ඩී.ඒ ධර්මසේන මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වීම නිසා එම ධූරය පුරප්පාඩුවී තිබිණි.
මෙවර සභාපති ධූරය සඳහා සිව් දෙනෙකු ඉදිරිපත් වූ අතර එහිදී හිටපු සභාපතිවරයෙකු වූ සුභාෂ් යටවර මහතාද ඉදිරිපත් වුවත් නෛතික තත්ත්වය මත ඔහුට ඒ සඳහා තරඟ කළ නොහැකි බව පළාත් පාලන කොමසාරිස්වරයා දැනුම් දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න හා රවිප්‍රිය චාමිකර ද යන මන්ත්‍රීවරුද එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ මන්ත්‍රීවරයා ද යෝජනා ස්ථිරත්වයෙන් සභාපති ධූරය සඳහා තරඟ කළහ.
එහිදී චමින්ද කරුණාරත්නට ඡන්ද 10 ක්ද රවිප්‍රිය චාමිකරට ඡන්ද 02 ක්ද සිසිර වික්‍රමසිංහට ඡන්ද 08 ක්ද හිමි වූහ.
අවම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් රවිප්‍රිය චාමිකර ඉවත්කර යළිත් වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා අතර ඡන්දයක් පැවත්වූ පසු දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගැනීම නිසා සභාපති ධූරයට කෙනෙකු තෝරා ගැනීම සඳහා කාසියේ වාසිය උරගා බැලීමට සිදුවිය.
එහිදී කාසියේ වාසිය හිමිවූ එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ සභාපති ධූරයට පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රවිප්‍රිය චාමිකර මහතා ඡන්ද විමසීමේදී එජාප අපේක්ෂකයාට ඡන්දය ලබා දුන්නේ යැයි කියා එම පෙරමුණේ පිරිසක් නොසන්සුන් ලෙස හැසිරීම නිසා පිරිස විසුරුවා හැරීමට පොලීසිය කැඳවීමට ද සිදුවිය.

