වෛද්‍යවරුන්ගේ වරදින් ආබාධිත වූ දැරියට මිලියන 30ක් වන්දි ගෙවන්නැයි නියෝග

වෛද්‍යවරුන්ගේ වරදින් ආබාධිත වූ දැරියට මිලියන 30ක් වන්දි ගෙවන්නැයි නියෝග

2012 වසරේ දී ගම්පහ දිස්ත්‍රික් රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවක් ආබාධිත දරුවකු බිහි කිරීම, එම රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නො සැලකිල්ල මත සිදුවී ඇතැයි තීන්දු කළ කොළඹ දිසා අධිකරණය ආබාධිත දැරියට රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස රජයට නියෝග කර තිබෙනවා.

දැනට ආබාධිත තත්ත්වයකට පත්ව සිටින බියගම ප්‍රදේශයේ පදිංචි සඳුනි අතාශා නැමැති අදාළ දැරිය සිය මව මාර්ගයෙන් ඉදිරිපත් කළ නඩුවක තීන්දුව ලබා දෙමිනුයි කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ අද(29) මෙම නියෝගය නිකුත් කළේ.

පැමිණිලිකාර දැරියගේ මව අධිකරණය හමුවේ පවසා තිබුණේ තමා දරුවකු ප්‍රසූත කිරීම සඳහා 2012 වසරේ මැයි මස 14 වනදා ගම්පහ රෝහලට ඇතුළත් වූ බවයි.

තමන්ට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලය හා වෛද්‍යවරු දැනුවත් කළත් ප්‍රතිකාරයක් ලබානොදුන් බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසූත කල දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට, හා ඇවිදීමට නො හැකි තත්ත්වයකින් පසුවන බවත් මව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට ආබාධිත දරුවකු බිහි වූ බවත් ඒ වෙනුවෙන් අලාභ වශයෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා අදාළ දැරිය වෙනුවෙන් මෙම මව නඩුව ගොනුකර ඇත්තේ.