කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක්

කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් ලබන පළමු වැනි දා සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
පෙරවරු 6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18ට මහනුවරට ළගා වන බවත් නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගා වන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ, දෛනික ව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව කියා සිටී අමාත්‍යවරයා, පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500කටත් මිල දී ගත් හැකි බව යි කියා සිටින්නේ.
මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවන බව කියා සිටී අමාත්‍යවරයා සුඛෝපභෝගී, විශ්වසනීය මෙන්ම ආරක්ෂිත සේවාවක් සැපයීම මෙම සේවාවෙන් සිදු වන බවත් අවධාරණය කරනවා.
අනුරාධපුර අටමස්ථානය වන්දනා සඳහා යන ජනතාවට කොළඹ කොටුව අනුරාධපුර නව විශේෂ දුම්රිය සේවාවක් නුදූරේ දී ම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනු යි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.

