පැයට කිලෝ මීටර 140 කට වැඩි වේගයකින් පන්දු යවන්නන් සිටීම මට මහත් ශක්තියක්

පැයට කිලෝ මීටර 140 කට වැඩි වේගයකින් පන්දු යවන්නන් සිටීම මට මහත් ශක්තියක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ දෙකකට ද එක්වෙනු ඇති බවය.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීමට අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේ, තම කණ්ඩායම සතුව පැයට කිලෝ මීටර 140 ක ට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටීම නායකයෙකු ලෙස තමන්ට මහත් වාසියක් සහ ශක්තියක් බව ඔහු පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට පෙර පවත්වන අවසන් මාධ්‍ය සාකච්ඡාව මෙය වන අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සඳහන් කළේ මෑතකාලීන කණ්ඩායම් දක්ෂතා සම්බන්ධයෙන් තමා අතිශයින් සෑහීමකට පත්වන බවයි.

එමෙන් ම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම තමන්ට සහ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය තුළ දී කිසිසේත් ම අතිරේක පීඩනයක් බවට පත් කර නො ගන්නා බවත් ඔහු කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වූ නායක දසුන් ශානක කියා සිටියේ, ආසියානු කුසලාන ජයග්‍රහණය මේ වන විට ඉතිහාසයට එක් වී ඇති තවත් එක් සිදුවීමක් පමණක් බවයි.එය නිතර නිතර මෙනෙහි කර තරග සම්බන්ධයෙන් සහ පුහුණු වීම් සම්බන්ධයෙන් ඇති ඉලක්ක අත්හැර ගත නො හැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන් ම මහනුවර දී පැවති පුහුණු සැසිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කළේ එම පුහුණු සැසිය තුළ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය උපරිමය නෙලාගත් බවයි.

එමෙන් ම ආබාධයන්ට ලක්ව සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ වේග පන්දු යවන්නන් යුගල වන ළහිරු කුමාර සහ දුෂ්මන්ත් චමීර දෙදෙනා මේ වන විට ඔවුන්ගේ උපරිමය කරා ලඟා වී ඇති බවත් ‍නායක දසුන් ශානක කියා සිටියා.

පන්දු යවන්නන් ලෝක කුසලාන තරගාවලිය තුළ දී කෙසේ ක්‍රියාත්මක විය යුතුදැයි යන්න විමසා සිටි අවස්ථාවේදී දසුන් කියා සිටියේ මෙවැන්නක්.

”ඔස්ට්‍රෙලියාවේ සමහර පිට්ටනි තියෙනවා දෙපැත්ත දිගයි, තව සමහර පිට්ටනි තියෙනවා ඉස්සරහ දිගයි, එතකොට පන්දු යවන්නෝ මේ ක්‍රීඩාංගණවලට ගැලපෙන විදියට ඔවුන්ගේ පන්දු යැවීමේ උපක්‍රම වෙනස් කරගන්න ඕනේ. යෝකර් එක, වයිඩ් යෝකර් එක, ස්ලෝ බවුන්සර් එක ඒවා හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. මම හිතන්නේ අපේ පන්දු යවන්න ඒ දේවල් වලට හරි විදිහට හැඩ ගැහෙයි.”යනුවෙන් පැවසීය.