ආතතියෙන් මිදෙන්න තවත් සරසවි සිසුවෙක් අතුරුදන්

ආතතියෙන් මිදෙන්න තවත් සරසවි සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ ( 2) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති එම සිසුවා ඊයේ රාත්‍රී 8.00ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නැමති 25 හැවිරිදි මෙම සිසුවා නවතැනින් පිටව යාමට පෙර ලිපියක් ද ලියා තබා ඇති අතර මානසික ආතතිය හේතුවෙන් ටික කලකට බැහැරව යන බව එහි සඳහන් කර ඇති බව පැවසේ.

ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් අද (3) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම විශ්වවිද්‍යාලයේ ම ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු මීට සති දෙකකට පමණ ඉහතදී මානසික ආතතිය බැව් පවසමින් සිය දිවි හානි කර ගෙන තිබිණි.