මස් හොද්දට වැටි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මුළුතැන් ගෙයි වැඩ කරමින් සිටියදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බන්ධනාගාර රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ, අදාළ රැඳවියා මිනී මැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී 2001 වර්ෂයේ මරණීය දණ්ඩනය නියම වී පසුව එය වසර 25ක සිර දඬුවමකට පත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි බව ය. අදාළ රැඳවියා 2028 වසරේ සියලු සමා සහිතව නිදහස් වීමට සිට ඇත.
එම රැඳවියා අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මුළුතැන් ගෙයි වැඩ කණ්ඩායමේ සේවය සඳහා යොදවනු ලැබ සිට තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් 9 වන දා මුළුතැන්ගෙයි වැඩ කණ්ඩායමේ කටයුතු කරමින් සිටියදී පිසින ලද ව්‍යංජනයක් තවත් සිරකරුවෙකුගේ සහය ඇතිව ලිපෙන් බා, බිමට තැබීමට ගිය අවස්ථාවේ එම රැඳවියාගේ පය ලිස්සා ගොස් උණුවෙන් තිබු කුකුල් මස් ව්‍යංජන භාජනයක් මත ඔහු ඉන්දවී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම අනතුරින් රැඳවියාගේ පසුපස ප්‍රදේශය හා පිට ප්‍රදේශය පිළිස්සී තුවාල වී තිබුණු බව ය.
පසුව එම අවස්ථාවේදී ම ඔහු තංගල්ල රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
රෝහල්ගතව දින 10ක් ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඊයේ (06) වන දා ජීවිතක්ෂයට පත් වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් මූලික විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති අතර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ද සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

