ඉතිහාසයේ සත්‍ය සිදුවීමක් ”ප්‍රාණ” දැන් තිරගතවෙයි

ශ්‍යාම් ප්‍රනාන්දු සමඟින් නිරංජනී ශන්මුගරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) ලාංකීය චිත්‍රපටය (ඔක්තෝබර් 07) දා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹුනා. පසුගියදා ජීවිතයෙන් සමුගත් මෙරට දක්ෂ රංගන ශිල්පියෙකු වන දර්ශන් ධර්මරාජා ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය මෙරට ඵෙතිහාසික සිද්ධි මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. මන්නාරම් ජන සංහාරය ඇතුළු පෘතුග්‍රීසි සමයේදී මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ආශ්රයෙන් නිපදවූ මෙය දිවයින පුරා සිනමා හල්වලදී දැන් ජනතාවට නැරඹීමට අවස්ථාව තිබෙනවා.

සමාරා, රෝස කැලේ (2008), ජූලි හතයි (2016) ආදී චිත්‍රපටවලට පසුව සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන පස්වැනි නිර්මාණය වන්නේ මෙම ප්‍රාණ (SEEDS) සිනමාපටයයි. මීට අමතරව සිහින වසන්තයක් සහ එමී වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක්ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. පසුගිය කොවිඩ් සමයේදී රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු අවසන් කරමින් ඉතාම කෙටි කාලයක් තුළ සිනමාහල් සඳහා මුදා හැරි ‘ආලේ කොරෝනා; (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද සංජය නිර්මාල් විසිනි. ඔහුගේ ස්වර නැමැති සිනමා නිර්මාණයත් නුදුරේදීම තිරගත කිරීමට නියමිතය.

ප්‍රාණ (SEEDS) සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ඉංග්‍රීසි බාසාවෙන් සිදු වූවත්, මෙහි සිංහල සහ දමිළ භාෂාවලට හඬ කැවූ පිටපත් ද දිවයින පුරා සිනමා හල්වලදී තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා.
ලාංකීය චිත්‍රපටයක් මෙලෙස සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම එකවර තිරගත වන්නේ බොහෝ කාලයකට පසුවයි.
පසුගියදා ජීවිතයෙන් සමුගත් දමිළ නලු දර්ශන් ධර්මරාජා ද ප්‍රාණ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවකට එක්ව තිබෙනවා.ඔහු ප්‍රාණ (Seeds) හි නිරූපණය කරන්නේ මෙරට උතුරු ප්‍රදේශ පාලනය කළ සංකිලි නැමැති රජුගේ චරිතයයි.

ඊට අමතරව ට්‍රේ හික්ස්, නිරංජනී ශන්මුගරාජා, ස්ටීවන් මාර්ක්, නීටා ප්‍රනාන්දු, සෙනේෂ් දිසානායක, රොබට් සිගේරා, දිනේෂ් සිල්වා, වගීෂා සල්ගාදු, කින්ග් රත්නම්, කල්ප මුණසිංහ, ජෝන් බොස්කෝ ඇතුළු දෙස් විදෙස් රංගන ශීල්පීන් රැසක් මෙහි සහාය රංගනයෙන් සම්බන්ධ වෙනවා.

කින්ග් රත්නම් විසින් සංකිලි රජුගේ උපදේශකයෙකු වන ‘නාගනා’ නැමැති චරිතය රඟන අතර ස්ටීවන් මාර්ක් විසින් නිරූපණය කරන්නේ ‘ජෝන්’ නැමැති පෘතුග්‍රීසි ජාතිකයාගේ චරිතයයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ ද සංජය නිර්මාල් විසිනුයි.

ස්ට්රයිනර් ඇඩම්ස් කැමරා අධ්‍යක්ෂණය සිදු කළ මෙහි සංස්කරණය ශාන් අල්විස් විසින් සිදුකොට තිබෙනවා. චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වී තිබෙන්නේ නදීක ගුරුගේ යි. සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන් හා ශබ්ද ප්‍රයෝග නිර්මාණයෙන් ශෂේන් ගිම්හාන එක්ව තිබෙනවා. VFX නිර්මාණය බුද්ධික විජේරත්න සහ සමින්ද වටවනවිතානගේයි. මෙහි කලා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙන්නේ ධම්මික හේවාදුන්න විසිනුයි. ප්‍රසාද් හර්ෂන් පියතුමාගේ විධායක නිෂ්පාදනය යටතේ නිර්මාණය වූ ප්‍රාණ (Seeds) චිත්‍රපටයට නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වන්නේ ගයාන් කෝසල ප්රනාන්දුයි. ප්‍රාණ, ජානක පෙරේරාගේ නිෂ්පාදනයක්.


පහත සබැඳියෙන් ඔබට මෙම චිත්‍රපටයේ නිළ පූර්ව ප්රචාරක පටය නැරඹීමට හැකියාව තිබෙනවා.

