ජොනී ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාර දෙයි

ජොනී ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාර දෙයි

වෙළඳ අමාත්‍යවරයා ව සිටිය දී 2010 වසරට අදාළ ව සතොස සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් ලක්ෂ 59කට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදුන්නා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දි යි.

හිටපු අමාත්‍යවරයාට අමතර ව අධිචෝදනා මෙලෙස භාරදෙනු ලැබුවේ, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර්ට යි.

ඊට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි මෙහි දී විත්තිකරුවන්ගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

එහි දී එක් අයෙකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට යි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

එමෙන්ම මෙම තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහාධිකරණය නියෝග කර තිබෙනවා.