හෙටත් වැස්ස සැරටම දෙනවා – දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.
එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවත් නිරිතදිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දීත් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද(13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි.
එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත , අයගම, කිරි ඇල්ල , පැල්මඩුල්ල , කලවාන , නිවිතිගල යන ප්රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.


