දුම්රිය මගින් ලොතරැයි ප්‍රවාහනය කිරීමට තීරණයක්

දුම්රිය මගින් ලොතරැයි ප්‍රවාහනය කිරීමට තීරණයක්

ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් දෛනිකව මිලදී ගන්නා ලොතරැයි පත් දුම්රිය මගින් දිවයින පුරා ප්‍රවාහනය කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ අද (19) පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

රාජ්‍ය ආයතන එකිනෙක අතර මනා සබඳතාවක් පවත්වා ගනිමින් කටයුතු කිරීම තුළින් ඒ සෑම පාර්ශ්වයකටම වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත්, දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීම උදෙසාත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් ප්‍රවාහනයට දරන පිරිවැය අවම කිරීම සඳහාත් මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව හා සමබන්ධ නිලධාරීන්, දුම්රිය නියාමකවරු, රියැදුරු මහත්වරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සිය උපරිම සහයෝගය දක්වනු ඇති බවත්, රටේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශ්වයන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.