ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා.

මේ අතර, ගත වූ පැය 24 තුළ දී වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හොරණ ප්‍රදේශයට වන අතර, එය මිලිමීටර් 104ක්.

පවතින වැසිත් සමඟ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම තත්ත්වය හමුවේ උතුරු අක්ෂාංශ 12ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේහයේ මේ මස 25 වන දා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම්දෙනවා.

එමෙන්ම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS