මිල්ලණියේ 05 වසර සිසුන් පිරිසකට පොලීසිය විදුලි සැර වද්දලා

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලණිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර 5 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනෙකු පොලිස් ජිප් රථයක් තුළ දී පහර දී විදුලි සැර වැදීමට සලස්වා වධ හිංසාවට ලක් කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී තිබෙනවා.
පසුගිය දෙවනදා එම අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව එහි විශේෂ විමර්ශණ ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළ බවයි එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.
ගුරුවරියකගේ පසුම්බියක් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් 5 ශ්‍රේණියේ ළමයින් 12 දෙනෙකු පුස්තකාල කාමරය තුළ රඳවාගෙන පහර දී පසුව මිල්ලණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පාසල වෙත කැඳවීමට ද පියවර ගෙන තිබුණා.
එහිදී පොලිසිය ද දරුවන්ට පහර දී කෘරත්වයට හා වද හිංසාවට ලක්කර ඇති බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් පැමිණි මිල්ලණිය පොලිසියේ ජිප් රථයක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනවල දී ආනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

