අඩු පීඩන කලාපය වයඹට බර වෙයි

අඩු පීඩන කලාපය වයඹට බර වෙයි

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බර ව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්න ව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව සඳහන්.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි යි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-50)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.