ලොක්කා පොලිස් කාන්තාවගේ ‌බෙල්ල අල්ලලා තල්ලු කරලා

ලොක්කා පොලිස් කාන්තාවගේ ‌බෙල්ල අල්ලලා තල්ලු කරලා

පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ පෙරේදා (12) සවස පැවති විරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවත් එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බව ත් ය.

පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසිපතිවරයා නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කාන්තාවක් දෙදෙනකු පෙරේදා (12) කළුතර නගරයේ සිට ගාලු මුවදොර දක්වා විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවා ගැනීමට යාමේදී අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කර තිබිණි.

ඒ බව දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යවල ද සංසරණය වෙමින් පවතී.

එම අවස්ථාවේදී අදාළ කාන්තාවන් දෙදෙනා රැගෙන යාමට බාධා කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද පොලිසිය රැගෙන ගිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මහ ජනතාවගේ භාෂණයේ නිදහසට බාධා වන ආකාරයට කටයුතු කර තිබෙනවා ද? කාන්තා පොලිස් නිලධාරිනියන්ට අකටයුතු වීමක් සිදු වන ආකාරයට හා ඔවුන්ට අගෞරවයක් වන ආකාරයට කටයුතු කර ඇති ද යන්න සම්බන්ධයෙන් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නියමිත බව ඔහු පැවසීය.

ඒ අනුව, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා සිදු කරන නිර්දේශ මත පොලිස්පතිවරයා ඉදිරි පියවර ගනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයින් තිදෙනා පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

මේ අතර පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවේ, එම වාර්තාව අද(14) දිනයේ ලැබීමට නියමිත බවයි.

අදාළ වාර්තාව ලද වහාම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළා ය.