ධනිෂ්කගේ නඩුවට වියදම් කරන්න අපිට ඇති තරම් සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට්

ධනිෂ්කගේ නඩුවට වියදම් කරන්න අපිට ඇති තරම් සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසනවා.

ඊයේ (14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත කියා සිටියේ,

“මම අඟහරුවාදාම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන ලබලා දෙන්න. ඒ ළමයා බේර ගත්තට පස්සේ එයාගේ පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් අපිට එතුමාගෙන් එක පියවා ගන්න පුළුවන්. ඒ ළමයින්ගේ සල්ලි අපි ගාව තියෙනවා. කොන්ත්‍රාත් ගිවිසුම් සල්ලි. මැච් මනි. ඒවා ඔක්කොම අපි ගාව තියෙනවා. මේ සේරම හරි ලස්සනට අපිට පියවා ගන්න පුළුවන්. මේ පච ප්‍රචාර නැවැත්තුවොත් මේක හරි පහසු වෙනවා. හිටපු නායකතුමා එදා මීටිමේදී කිව්වා ලංකා කණ්ඩායම පාටි 16කට ගිහින් තියෙනවා කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් කරේ එකයි. මැනේජරුත් ඇවිත් කියලා තියෙනවා එකයි කියලා. නෑ නෑ අපිට ආරංචිලු. කොහෙන්ද එතුමාට ආරංචි ඇවිත් තියෙන්නේ? දෙවැනි පාටිය පෙන්වන්න. හෙට මම යන්නන් අමාත්‍යාංශයට. අපිත් එක්ක තියෙන ඉරිසියාවට ක්‍රිඩකයින්ට ගහන්න එපා. ඒගොල්ලන්ට අපි නිදහසක් දීලා තියෙනවා. නිදහස හරි විදියට භුක්ති වීදිම ක්‍රීඩකයින්ගේ යුතුකමක්. එකට තමයි වෘත්තිමයභාවය කියන්නේ. එහෙම නොවෙන මිනිහට වැඩිදුරක් යන්නත් බෑ.”යනුවෙන්.

මේ අතර ධනිෂ්ක ගුණතිලක සිය දෙවන ඇප ඉල්ලුම් පත්‍රය ඊයේ (14) යොමු කර තිබුණා.

ඒ අනුව, එම ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 8 වන දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිත ය.

නොවැම්බර් 7 වන දින ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේදී මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් විසින් ඔහුගේ මූලික ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

පසුව ඔහු සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

COMMENTS