මහබැංකුවෙන් මුදල් අච්චු ගැසීමක්

මහබැංකුවෙන් මුදල් අච්චු ගැසීමක්

ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කර තිබෙනවා.

මෙම නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 129,920.41ක් හෙවත් රුපියල් කෝටි 12,992ක්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ දින, ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදු කළ බව යි.

මේ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණයෙහි මුහුණත වටිනාකම රුපියල් මිලියන 2,570,671.54ක් වූ අතර, මෙම වටිනාකම නොවැම්බර් 14 දින දැක්වුණේ රුපියල් මිලියන 2,440,751.13ක් ලෙස යි.

මෙලෙස මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීමක් සිදු කරනු ලබන අතර, එය හැඳින්වීම සඳහා ‘සල්ලි අච්චු ගැසීම‘ (Money printing) යන සාමාන්‍ය ව්‍යවහාරය භාවිත වන බව සඳහන්.

මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීම යි.

රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බල නො පාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය.

එසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදු වනවා.

ඊයේ (15) දිනයේ දී සිදු වී ඇත්තේ ද එවැන්නක් බව යි වාර්තා වන්නේ.