සාරිය අනිවාර්ය වෙන ලකුණු

සාරිය අනිවාර්ය වෙන ලකුණු

පාසල් ගුරුවරියන්ට සාරිය හැර වෙනත් ඇඳුමකින් සැරසී රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණිය නොහැකි බවට සඳහන් චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අද (23) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පැවසීය.

පාසල් කිහිපයක ගුරුවරියන් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීම සැලකිල්ලට ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කරනු ඇති බව ද ඔහු පැවසීය.

ගුරුවරියන් රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණෙන විට සාරියෙන් සැරසී පැමිණිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ත් එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

රජයේ සියලු ම ආයතනවල කාන්තාවන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට පැමිණිය හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය අත්තනෝමතික ආකාරයෙන් වෙනස් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

රාජ්‍ය සේවයේ යෙදෙන කාන්තාවන්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛය නිසි පරිදි සකස් කර ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

රජයේ කාර්යාල වෙත සේවයට පැමිණීමේදී කාන්තාවන්ට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය හැකි බවට චක්‍රලේඛයක් නිකුත් කෙරුණ ද එය ගුරුවරියන්ට අදාළ නොවන බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය පියවර ගත යුතු බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ පැවසීය.