දේශබන්දුව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

